fbpx

පුරාවෘත්තය

ඕං....නමෝතස්ස භගවතෝ.........!!!
මහසමයම කතා පුවත
මෙම කතා පුවත ඊශ්වර (ශිව), උමයංගනා, විෂ්ණු, බස්මා අසුර, මහසෝනා, සෝණා බිසව හා ගෝඨයිම්බර යන ප්‍රධාන චරිත වටා ගෙතේ.
ඊශ්වර යනු බලසම්පන්න දෙවි කෙනෙකි. ඔහු අතින් විශ්වයේ විනාශය සිදුවන බව විශ්වාසයයි. උමයංගනා ඊශ්වරගේ රූමත් බිරිඳයි.

ඔවුන් එක් සන්ධ්‍යාවක තාණ්ඩව නර්තනය සමඟින් මධුපාන උත්සවය සඳහා සූදානම් වෙයි. බස්මා අසුර යනු වසර 12ක් ඊශ්වරට සේවය කරමින් ඊශ්වරගේ 'ඉසුරු දැහැන' කෙසේ හෝ ගැනීමට මාන බලන අයෙකි. 'ඉසුරු දැහැන' අතට මතුරා යම් අයෙකුගේ හිස මත තැබුව හොත් ක්ෂණයතින් ඔහු දැවී අළු වී යයි.

'ඉසුරු දැහැන' ගැනීම සඳහා ඔහු උමයංගනාව රවටා, ඇය ලවා ඊශ්වරගෙන් එය උපක්‍රමශීලී ව ලබාගනී. ඉන්පසු ලෝකය විනාශ කරන්නේ ඊශ්වර යැයි පවසමින් පළමුව ඊශ්වර විනාශ කිරීමට තීරණය කරන අසුර එම දැහැන මඟින් ඊශ්වර විනාශ කිරීමට ඔහු පසු පස පන්නයි. ඊශ්වර අසුරයාගෙන් බේරීමට විෂ්ණුගේ සහය පතයි. විෂ්ණු දෙවිඳුන් රූමත් දෙවඟනකගේ වේශයක් මවාගෙන බස්මා අසුරයා දිවයන මඟ ඔංචිල්ලාවක් පදිමින් සිටී. ස්ත්‍රී ලෝලයෙකු වන බස්මා අසුර එම රූමතියගේ රූපයට වශී වී ඇය තමාට නතුකර ගැනීමට රැවටිලි බස් කියයි.

අසුරයා දෙවඟනකගේ වෙස්ගත් විෂ්ණු සමඟ සංවාදයේ යෙදී අවසානයේ ඇයට විවාහ යෝජනාවක් ගෙනෙයි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා විෂ්ණු අවතාරය වූ රූමතිය දිවි හිමියෙන් තමන් ආරක්ෂා කර ගන්නා බවට ඔහුගේ ම හිසමත අත තබා දිවුරා පොරොන්දු වන ලෙස ඉල්ලා සිටී. ඇගේ රූපයෙන් මත් ව සිටින බස්මා අසුර 'ඉසුරු දැහැන' මැතිරූ තම අත්ල තම හිස මත ම තබා ගනී. එසැනින් ඔහු දැවී අළු වී යයි.

එසේ දැවී යන බස්මා අසුරගේ අළු මතින් මහසොහොනා නම් යක්ෂයා උපදී. පසු ව තම්බපන්නි සොහොනේ ජීවත්වන මහසොහොනා මිනිසුන් ලෙඩ කරවමින්, බිලි ගනිමින්, මිනිසුන්ට වින කරමින් සිටී.

ගෝඨයිම්බර දුටුගැමුණු රජුගේ දස මහ යෝධයින්ගෙන් එකෙකු ලෙස ප්‍රචලිතය. මහසොහොනා දිනක් දියනාමින් සිටින, ගෝඨයිම්බර නම් යෝධයාගේ රූමත් සෝණා නම් බිරිඳ ව දකී. ඇයගේ රූ සපුව දකින මහසොහොනා ඇය කෙසේ හෝ තමා වෙත නම්මවා ගැනීමට උත්සහ කරයි.

අවසානයේ ඔහු ඇයව ආවේශයට පත් කොට ඔහුගේ වසඟයට ගනී. මේ සිදුවීම දකින ගෝඨයිම්බර බිරිඳගේ සේවිකාවන් එය ගෝඨයිම්බරට දැනුම් දේ. එය අසා එතැනට පැමිණෙන ගෝඨයිම්බර පරල වී සිටින සිය බිරිඳව දකී.

ඇය එසේ පරල කළේ තමා බවත්, ඇයට ප්‍රේම කරන බවත් මහසොහොනා පවසයි. මහසොහොනා හා ගෝඨයිම්බර අතර සිදු වූ බහින්බස් වීමකින් පසු ව රූමත් සෝණා අයිති කර ගැනීමට සත් දිනකට පසු ව තම්බපන්නි සොහොනේ සටන් වැදීමට තීරණය වෙයි.

සත් දිනකට පසු ගෝඨයිම්බර මහසොහොනා හා සටන් වැදීමට සොහොනට යයි. ඔවුන් දෙදෙනාගේ ත්‍රාසජනක සටනකින් පසු නො සිතූ ලෙස සියල්ලන් විස්මයට පත් කරමින් ගෝඨයිම්බර අහසට පැන කකුලේ සුළැඟිල්ලෙන් ගසන පහරකින් මහසොහොනාගේ හිස වෙන් ව ‍වීසි වී යයි.

එම අවස්ථාවේ ගිරි බිසවුන් 12 දෙනා ගෝඨයිම්බරට ශාප කරමින් මහසොහොනා බේරාදෙන ලෙස සෙනසුරු දෙවියන්ට කන්නලව් කරයි. සෙනසුරු වලහෙකු සමඟ සටන් කොට වලස් හිසක් ගෙන පැමිණ මහා යාගයක් කොට මහසොහොනාගේ කඳට වලස් හිස සවිකරයි. ඉන් පසු වලස් හිසක් සහිත මහසොහොන් අවතාරය දැවැන්ත ලෙස නැඟී සිටී.

Follow Us

Copyright © 2024 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399